නාඩි සෙට් එක

Saturday, March 21, 2015

කාන්තා දිනය තියෙන මාසයේ නම් කාන්තාව ගැන කතා එමටය. කාන්තා අයිතිවාසිකම්, සම තැන, නිසි තැන ආදී මෙකි නොකී කතා බහුලය. හැබැයි බොහෝ කතා එතැනින්ම ඉවර වෙනවා. ආයෙත් ඒ කතා පටන් ගන්නේ ඊළඟ අවුරුද්දේ කාන්තා දින සැමරුම් තියනා විටය.

කාන්තා දිනය ඉවර වෙලා දවස් දෙක තුනකට පස්සේ ඉන්දියාවේ ඉන්නා මගේ යාලුවෙක් (ගෑල්ලමයෙක්) කතා කළාය. 

“මාර වැඩක් නේ මට අද උනේ. හවස ලෙක්චර්ස් ඉවර වෙලා ඔටෝ එකක (ඉන්දියාවේ ත්‍රි වීලර් නැත්නම් ටුක් ටුක් වලට කියන්නේ එහෙමලු) එද්දී පාරේ පාලු හරියක නවත්තලා එලවපු මනුස්සයා ආපහු හැරිලා මගෙන් වැඩිපුර සල්ලි ඉල්ලුවා. මං බෑ කිව්වහම කෑ ගහන්න එපා කියලා තර්ජනේ කළා. මං ඉතිං සල්ලි දුන්නා. ටික කාලයක් යනකං ඉතිං බයට ඔටෝ වල යන එක නවත්තන්න වෙයි!” 

මේක හයිද්‍රාබාද් වල හොඳට එළිය තියෙන හවස හතරට විතර වෙච්චි වැඩක්. ලංකාවේ හැබැයි මෙච්චර දරුණු නැති උනත් තත්ත්වේ මිට පොඩ්ඩක් හරි සමානයි.

“බස් එකේ රෑ වෙලා කැම්පස් එන්න බෑ. මහන්සියට නින්ද ගියොත් එහා පැත්තේ ඉඳන් ඉන්න එකා අපිව කොට්ටේ කර ගන්නනේ බලාගෙන ඉන්නේ.” නුවර ඉඳන් කැම්පස් එන ආලෝකා ඒ විදිහට කිව්වේ අතිශෝක්තියකින් උනත් බොහෝ දුරට කතාව හරි. 

මේ වගේ බස් එකේ හේත්තුවක් දාන්න ආපු “අයියා” කෙනෙක්ට අපේ කෙල්ලෙක් මේ ලඟදි අතේ තිබ්බ කුඩෙන් හොඳට බැට දීලා තිබ්බා. මනුස්සයා හිමින්ම බස් එකෙන් බැහැලා ගිහිං.

හැමදාම පත්තෙරේ අරගෙන බැලුවොත් ස්ත්‍රී දූෂණ, අතවර වලින් නම් අඩුවක් නෑ. හැමදාම බණ අහන බණ කියන රටේ වෙන දේවල් කියලා හුල්ලන්න විතරයි අපිට පුළුවන් උනේ.

SLCERT එකට, ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට එන පැමිණිලි වලින් වැඩි හරියක් සමාජ ජාල, දුරකථන වගේ තාක්ෂණික මෙවලම් යොදා ගෙන කාන්තා හිංසනයට අත වනපු අවස්ථා. බලපුවහම අපේ උන්ට තියෙන්නේ පුදුම අහේනියක්.

ඔෆිස් එකක උනත් තත්ත්වේ මීට වෙනස් නෑ. ඇහැට කනට පේන කාන්තා පරාණයක් ආවොත් ඒක බාර ගන්න කට්ටිය එන්නේ පෝලිමේ. 

රටට විදේශ විනිමය ගේන ප්‍රධාන මාර්ගයක් වෙච්චි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ මේ ලිංගික සුරා කෑම වගේම ශ්‍රමය සූරා කන එකත් අඩුවක් නැතිවම සිද්ධ වෙනවා. Man Power ආයතන කියලා අටවා ගත්තු උගුල් වලින් බොහෝ වෙලාවට වෙන්නේ අර්ථසාධක මුදලක් වත් දෙන්නේ නැතිව හොඳට වැඩ අරගෙන ඕනේ නැති උනාම එළවලා දාන එක.

“මට ඒ කම්පැනි එකේ වැඩ කරන්න බෑ මල්ලි. බොසා වැඩ දෙනවා දෙනවා ඉවරයක් නෑ. Deadline එකට දුන්නේ නැතිවහම කියන්නේ කරන්න බැරි නම් අස්වෙලා යන්න. ඔයාගේ Position එකේ වැඩ කරන්න ඕනේ තරම් male workers ලා අපිට හොයාගන්න පුළුවන් කියලා.”

රටේ හරිම ඉහළින් පිළිගන්න කොම්පැනියක වැඩ කරන අක්කා කෙනෙක් කියපු කතාවක් මේ.

ඉස්සර සිව් සැට අබරණින් සැරසිලා කාන්තාවකට ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට පයින් එන්න පුළුවන් උනාලු. හැබැයි දැන් ගියොත් නම් අබ සරණයි තමා..

මේකද යහපාලනේ නෙවෙයි...

මේකද අපේ මහා ලොකු හැදියාව, සභ්‍යත්වේ කියන එක තමයි අහන්න තියෙන්නේ. 

කොතනද අපිට වැරදුනේ?


පින්තූරය - www.dnaindia.com

Related Posts Plugin for WordPress, Blogger...